Friday, October 17, 2014

පරණ අඹුවක්...

"ගනිමි තවත් නාකි වුනත් දෑවැද්දත් එක්කම මං
හොඳ සොඳුරු ළදක්.."




රූපය වාගේම ළඳේ
චරිතෙත් මට ඕනෑමයි
ඒහින්දයි මං ගැන මං
පත්තරේට නොම දැම්මෙත්..
හිතුවේ උඹෙ ලන්සුවටයි
උඹේ කදිම රෑපයටයි
කිසිවක් නොසොයාම මෙමා
බහදෙයි කියලාම නොවෙද?
ගෙදරටම නාකි වුනත්
ගන්නේ නෑ මං අඹුවක්
පාරෙ බැහැලයද්දි මාව
කරන අතරමං..
හරියන්නෑ මේ විගඩම්
ගනිමි තවත් නාකි වුනත්
දෑවැද්දත් එක්කම මං
හොඳ සොඳුරු ළදක්..



Wednesday, October 15, 2014

නන්ද මගේ කුමරුනි..



"නොවුනට සුරඟනක්.. මා ඔබේ ජනපද කල්‍යාණී..."





නොබෝ දිනකින් නිවන් සොයා යන

නන්ද මගේ කුමරුනි..

හදේ තියාගන් හැමදා එක ලෙස

ඔබේ පෙම්බරී...

නෙක වූ සුරඟන ලඳුන් ඇවිත්

ඉඟි බිඟි පාවී..

නොවමුත් සුරඟනක්

මා ඔබෙ ජනපද කළණී...




Tuesday, October 7, 2014

ආගන්තුක පෙම්වතියට...


"ඒත් මගෙ සිත ඔබම සෙව්වා..."




යළි යළිත් ඉපිද මැරෙන
සොඳුරු වූ සිහිනයන් අතරින්
නුඹේ රුව මට මැවී පෙනුණා
මං එනකල් මඟ බලන් හිඳිනා..

යළිත් කිසිදින හමුනොවන වග
පුන පුනා හදවත කියද්දී
මගේ දෑසින් කඳුළු බිඳුවක්
මටත් නොදැනිම බිමට වැටුණා..

ඇවිත් නුඹ හා මඟක් දුරකට
දමාලා යළි එන්නෙ කෙලෙසද
ඒ නිසා නෑවිදින් ඉන්නට
මං මගේ හිත හදාගත්තා..

ඒ නමුත් ඒ පුංචි ඇස් පොඩි
මගේ ඉදිරියෙ මැවී පෙනුණා
අහිංසක නෙත් නොදකින්න මං
මගේ දෑසම වසාගත්තා..

ඒත් මගෙ සිත ඔබම සෙව්වා...


(විශේෂ අධ්‍යාපන පීඨයට)