Friday, September 19, 2014

අත්වැරැද්ද..

" නැඟුණු සඳ බැස යන්නටත් කලියෙන්..
කොහේ සැඟවුණිදෝ.."






ඔබ මගේ කවුරුදැයි මට නොවැටහේ
මගේ කෙනෙකුන් කියා පමණක් මට දැනේ
නැඟුණු සඳ බැස යන්නටත් කලියෙන්
කොහේ සැඟවුණිදෝ..

සුදු වළාවන් පැහැ රුවින් ගත්
වැහි වළාකුළු ආත්මය ගෙන
මගේ ලෝකෙට පැමිණි වග මං
අනේ දැන සිටියනම්..
මගේ තුරුළෙන් මොහොතකටවත්
ඉවතලන්නෑ උඹව මං..

උඹත් සමඟම හිඳින්නැතිවම
උඹව කැටුවම එන්නෙ නැතිවම
මග දමාලා ඇවිත් මේ දුර
නිමා වූ පසු සියලු දේවල්..
අකාලේ පරවූ මගේ මල
රැගෙන දෝතින් මගේ දෑතට
සමාවන් මට මයෙ පුතේ යැයි
පවසන්නෙ කෙලෙසද මං..

                                         
                                                    -සුදු පුංචාගේ නික්ම යාම...




Wednesday, September 3, 2014

මල් සුවඳ...


"හේනට එන ගිරවුන්ගෙන් - අකුරු ඉගෙන ගෙන
අහසේ තරු ගණන් කරන - ගල්කැට ඇහිඳින"





මල් සුවඳ පිරී ඇති
මගෙ හපුටු පැටවු ළඟ
හැමදාම එක ලෙසම
සිල් සුවඳ හමනවා..

නොවුනාට පොත්ත රතු
දිලිහෙනා හිනා කැන්
වලින් හැම පාන්දර පාන්දර
මගේ හිත පිරෙනවා..

පුංචි පැන්සල් කොටෙන්
හීනියට හෙමිහෙමින්
ගැටගහන අකුරු පොඩි 
පිටු පුරා පිරෙනවා..

නමට මල් කැකුළු වන 
උඹල හැමටම වඩා 
මගෙ හිඟන පැටවුන්ව 
හැමදාම මට වටිනවා..