Wednesday, September 26, 2018

•යදම් අමතකද පා බැඳි විලංගුවේ.....


"සමන් දෙවිරජ දකින්නැති එය
                 ඒ නිසයි මේ හැටි හඩන්නේ.."




යදම් බැද දා හෙන්ඩුවත් ගෙන මා නටවනා මිනිසුනේ..
සිතන්නේ නුබ මේ අනෝරා වැහි
නුබ වෙනුවෙන්දැයි..
නුබේ නෙත් සිත්අහක බැලුවත්
මගේ සිව්පා නුදුටු සේ.
සමන් දෙවිරජ දකින්නැති එය
ඒ නිසයි මේ හැටි හඩන්නේ..

නොතැවෙන්න නොහඩන්න ඔය හැටි මා සමන් දෙවි ප්‍රිය හිමියනේ..
මගේ සිව්පා නොරිදේය ඒ හැටි
මේ යදම් වැල් වලින්..
අඩිය තැබුවත් යදම් ඇතිදුරින්
පෙරහැරේ ඉදිරිය බලා..
දනිමි ඔබ මා දෙස බලා
කප්පරක් දුක් තැවෙන වග නම්..

බොහොම පින්කල සත්වයොලු උන්
බොහොම මොළ ඇති සත්වයොලු උන්
බුදුරජයි ඒ බව වදාලේ
අපිව නටවා යදම් බැදලා
ඔවුන් ලබනා විනෝදේ
නොදුටු මා නෙත් කදුලු ගංගා
තුටින් හිනැහෙන විලාසේ
දුටුව මා හද තුටින් සැනසෙමි
මිනිස්කම් නොලද නිසාවේ..



Wednesday, November 11, 2015

මට නම් නොහැකියි..



"ඔබ තනිකර මට යා නොහැකි... මා හට නම් හැරයනු නොහැකියි.."




පෙරුම් පුරා ඔබ මා මේ බවයේ 
එක්ව පිපී ලොව සුවද සදන මුත්
තනිව බුදු පුදට නෙළාගනු එපා
එක්ව එකට මිය යනු සැපකි...

පිරිසිදු කිරිසුදු පැහැයේ තරමට
අපේ පෙමත් කිරිසුදු පැහැතියි
ඉදින් කුමට මට තවත් නිවන් සැප
ඔබ තනිකර මට යා නොහැකි...

මල් යායේ අප එකට පිපී මුත්
කවුරු නෙළාගනු කිවනොහැකියි
කුමක් කරමු අප එක්ව මියෙන්නට
මා හට නම් හැරයනු නොහැකියි...


Friday, October 16, 2015

තම කළණිය අතහැර ගිය නන්දට

"මා මැව් ලෝ මව්තුමියනි ඔබහට
පින් දෙමි මා සුර අගනක් නොකලට..."





සුර ළදගේ රූ සපුවට ලොබබැද 
තම සොදුරිය අතහැර ගිය කුමරුට 
කල්පකාලයුග ගනනින් පෙම්කල
තම කළණිය අතහැර ගිය නන්දට..

කිසිදා හැබැහින් නොදුටු රුවක් වෙත
පෙරුම්පුරා ලොබ බැදි මිනිසෙකුහට
බුදුහිමියනි ඔබ සසුනේ කොතැනක 
ඉඩක් හිමිද ලැබගන්නට සුරමග..

මා රූ සපුවට පෙම්කල ඇතිමුත්
ඔහු නැත මා හදවත හදුනාගෙන
ඉදින් එවන් මිනිසෙකු මා සතුවී
පලකිම ඔහු රජ කුමරෙකු වූවත්..

වියෝ දුකින් මා හදවත පෙලුනත්
ඔහු හදවත මා දැන් හදුනන්නෙමි
මා මැව් ලෝ මව්තුමියනි ඔබහට
පින් දෙමි මා සුර අගනක් නොකලට...

Tuesday, September 29, 2015

නැවුම් කවියක්



"පා තබා පිය නගමු අප දැන් පුරුදු මහ පොලොවේ 
අපෙ අලුත් රඟ මඬලේ..."





පබඳින්න අවැසියි
නැවුම් කවියක්
ඔබේ හද මඬලේ
ඉදින් දැන්
අවසරද සබඳේ...

තැනූ මන්දිර
විසල් සිහිනද
බිඳී ගිය සඳ මෙදිනේ
හෙටින් ඇරඹෙන
නැවුම් දිනයේ
වහින්නට අවැසියි මට
අලුත් වැස්සක් වී
අපෙ පුරුදු ආකාසේ...

කිමද ඉගිලෙන්නට හදිසියක්
කුමට පැන යන්නට නොඉවසුමක්
ඉදින්...
පා තබා පිය නගමු අප දැන්
පුරුදු මහ පොලොවේ
අපෙ අලුත් රඟ මඬලේ...



Friday, March 27, 2015

යළි එනතුරා...

සිත්තම් කරමි මම
ඔබේ රුව බිත්තියේ
මගෙ සිතින්..
තබා ඔබෙ දෙතොලගට
මා දෙතොල්..
පණපොවම ඔබෙ රුවට..
සිනාසෙයි පෙර සේම
මා දෑස් අබියස සිට ඔබ..
තබා ඔබෙ හුස්මපොද
මගෙ උනුහුමට..
ගියා නුබ වළාවන් ගැබ්බරකර
ඇදහැලෙයි දැන් දැන්  මහා වැහි..
ඉදින් ගුලිවෙමි මා
ඔබේ හුස්මපොදයට..
සරදම්කර
අනෝරා වැහි කදට..

Tuesday, March 10, 2015

පළමු පෙම

මතක ඇති දා පටන්
සිහිනදුටු පළමු පෙම
අතැර නුඹ
පෙම්කලා අන් පෙමකට...
නමුත් මා දනිමි.,
පසුතැවෙන වග නුඹ
සිහිකරමින් නුඹෙ කුළුදුල් පෙම
යළි ආපසු හැරුමට ඇත්නම්...
දිවගොසින් ඒ දෙසට
නොපෙනෙන්න නික්මයමි
ඔබගේම ලෝකයෙන්
හිමිකරදී නුඹට
නුඹේ සරසවි ප්‍රථම පෙම..

Friday, October 17, 2014

පරණ අඹුවක්...

"ගනිමි තවත් නාකි වුනත් දෑවැද්දත් එක්කම මං
හොඳ සොඳුරු ළදක්.."




රූපය වාගේම ළඳේ
චරිතෙත් මට ඕනෑමයි
ඒහින්දයි මං ගැන මං
පත්තරේට නොම දැම්මෙත්..
හිතුවේ උඹෙ ලන්සුවටයි
උඹේ කදිම රෑපයටයි
කිසිවක් නොසොයාම මෙමා
බහදෙයි කියලාම නොවෙද?
ගෙදරටම නාකි වුනත්
ගන්නේ නෑ මං අඹුවක්
පාරෙ බැහැලයද්දි මාව
කරන අතරමං..
හරියන්නෑ මේ විගඩම්
ගනිමි තවත් නාකි වුනත්
දෑවැද්දත් එක්කම මං
හොඳ සොඳුරු ළදක්..