Wednesday, September 3, 2014

මල් සුවඳ...


"හේනට එන ගිරවුන්ගෙන් - අකුරු ඉගෙන ගෙන
අහසේ තරු ගණන් කරන - ගල්කැට ඇහිඳින"





මල් සුවඳ පිරී ඇති
මගෙ හපුටු පැටවු ළඟ
හැමදාම එක ලෙසම
සිල් සුවඳ හමනවා..

නොවුනාට පොත්ත රතු
දිලිහෙනා හිනා කැන්
වලින් හැම පාන්දර පාන්දර
මගේ හිත පිරෙනවා..

පුංචි පැන්සල් කොටෙන්
හීනියට හෙමිහෙමින්
ගැටගහන අකුරු පොඩි 
පිටු පුරා පිරෙනවා..

නමට මල් කැකුළු වන 
උඹල හැමටම වඩා 
මගෙ හිඟන පැටවුන්ව 
හැමදාම මට වටිනවා..




25 comments:

  1. Replies
    1. දේශක, ඔබ දැකලා නැතිව ඇති කියල මම හිතන්නෙ නෑ, මේ පැත්තට ආවොත් දඹාන, රිදීමාලියද්ද, ඇකිරියංකුඹුර, ගුරුකුඹුර, යල්වෙල, වගේ පැතිවල ඉස්කෝලවල ඉන්නෙ වැඩිහරියක් හපුටු පැටවු. හරියට ඇඳුමක් නෑ, වෙලාවකට කකුල් දෙකට බාටා කෑලි දෙකක්වත් නෑ, දත් කහ ගැහිලා, අවුවට වේලිලා මැලවෙච්ච මූණු, බඩගින්නෙ බඩ ඇතුලටම ඇකිළුන පැටවු, උන් එනාව පොත් මිටියකුත් අතේ අරං ඉගෙනගන්න. උන් වැඩිහරියකට සිංහල හෝඩියේ අකුරුවත් බෑ. ඒත් උන් ඒවා ඉගෙනගන්න ආසයි. ඔන්න ඒ වගේ කැකුළු වලට තමයි අපි මේ පැත්තෙ හපුටු පැටවු කියන්නෙ.

      ඒ අපහාසෙකට එහෙම නෙවෙයි, උන්ට තියෙන ආදරේ වැඩිකමට. පිට ආටෝපෙට හපුටු උනත් උන් තමයි හැබෑම මල් කැකුලු. මං මේ කියන්නෙ අත්දැකීමෙන්මයි.

      Delete
  2. ඒ උනාට ගොඩක් තැන්වලදි කැපිලා පේන්නෙ නමට මල් කැකුළු විතරයි. ඔය අහිංසක හීන ගොඩක් වෙලාවට කැලේම පර වෙනවා!

    පද ටික අපූරුයි!!

    ReplyDelete
    Replies
    1. ප්‍රියශාද්, ඔය අත්දැකීම මගේ හිතට තදින්ම කාවැදුනු මොහොතක තමයි මගේ අතින් මේ වගේ නිර්මාණයක් ලියවෙන්නෙ. මට උගන්නන්න ලැබිල තියෙනවා සිංහල හෝඩියේ අකුරු ටිකවත් නොදන්න ගනන් ටිකක් හරියට ලියල එකතුකරගන්න දන්නෙ නැති ළමයි. මං උගන්නන අතරෙ ඉගෙන ගන්න පුලුවන් එවුන් ඇවිල්ලා උන්ට ඔච්චම් කරනවා. අන්න ඒ තැන් වලදි හිතට දැනෙන හැඟීම දරාගන්න බැරිතරම්. ඒ වගේ එවුන් තමයි ඉගෙන ගෙන ලොකු මහත්තුරුවෙලා පොඩි පංතියේ ඉන්න අපි වගේ එවුන්ට ගරහන්නෙ. ඔබ දන්නවද, අමාරුවෙන් අකුරක් ගැටගහගන්න ළමයි මං පංතියට එන්න පොඩ්ඩ පරක්කු වෙච්ච ගමන් මඟ බලාගෙන ඉන්නවා. සමහරක් අය මං එනවද බලන්න මඟට එනවා. මඟට මාව හම්බ උනාම උන්ගෙ මූණු හිනාවෙන් පිරෙනවා. එතකොට මගේ මුළු හිතමත් පිරෙනවා. සමාජ ක්‍රමයෙ වැරැද්ද මිසක් උනට මෙහෙම වෙලා තියෙන්නෙ උන්ට ඉගෙන ගන්න ආසාව නැතුව නෙවෙයි.

      Delete
  3. Replies
    1. අන්න.. දැන් නම් උඹත් ලස්සනයි. ඔය ඉන්නෙ මනුස්සයෙක් වගේ!!

      Delete
    2. ස්තූතියි සංචාරක..

      Delete
  4. ඔව් හිඟන පැටියෙක් වුනත් වටිනවා.. අපූරු පද වැලක්..

    ReplyDelete
    Replies
    1. තුශානි.. හිඟන පැටවු තමයි වටින්නෙම.

      Delete
  5. අද කාලේ දුවන රටාවේ හැටියට නම් ඔහොම හිතන අය බොහොම අතලොස්සයි ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. අද කාලෙ ගොඩක් දෙනෙක් ගුරු ප්ත්වීම් ගන්නෙ බඩ සරිකරගන්න විතරයි. ගුරුවරයා කියන එකේ අර්ථය හරි හැටි තේරුම් ගත් කෙනෙක්ගෙ හැඟීම් මෙයින් පිට යන්න විදියක් නෑ. එහෙම නැති අය තමයි දුෂ්කරයි, දුෂ්කරයි කිය කියා අහිංසක හිඟන පැටවු දාල පැනල දුවන්නෙ.

      Delete
  6. මට මහ්ටක් වුනේ "බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවා ගන්න" කියන සින්දුව

    ReplyDelete
    Replies
    1. මොකද ඒ කියලා තමයි මාත් බැලුවේ , වැරදිලා කියන්න ගිය එක නිවෙයි කියවෙලා තියෙන්නේ , කියන්න ඕඅන වුනේ " මා තොටින් එන උතුරු සුළඟේ" කියන සිංදුව කියලයි

      Delete
    2. මා තොටින් එන උතුරු සුළඟේ ගිනි සිඹින මඩු පල්ලියේ
      දෑස් අග මුතු කඳුළු හංගන සරෝජා මගෙ නංගියේ
      වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි මක්කරන්නද පැංචියේ
      ගුරුතුමී මා සිසුවියයි නුඹ ඒත් අපි එක පංතියේ

      කරවටින් අත දමා හිනැහුළණු කෝ නුඹේ යාළුවන්
      දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන්
      තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කදවුරු දොරෙන්
      කාටවත් නැති දුවේ කවුරුත් නුඹ රකීවිද සෙනෙහසින්

      මන්දිරේ දොර නුඹව කැදවයි බේබිලා හඩනා හඩින්
      මායිමේ වැට අඩගසයි හෙට අවි දරා රකිනා ලෙසින්
      දමා ගොදුරට කෙලෙස යන්නද ඒත් යන්නට වෙයි ඉතින්
      වරක් දැක හිත නිවාගන්නට දුවේ ඩිංලක් හිනැහියන්

      මා තොටින් එන......

      ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
      පද - මහින්ද චන්ද්‍රසේකර
      සංගීතය - රෝහණ වීරසිංහ

      Delete
    3. ඉවාන් මේකත් අහන්න .....

      රෑට රැයේ මහ වැවේ රකින තරු මල්...
      පඳුරු වදුළු වල නිදා වැටුන බිම්මල්...
      හීලත් නොමැතිව ඉරත් සමඟ ඇවිදින්...
      කරන්නෙ කෝමද අකුරු හරඹෙ මැනවින්...

      ආවත් අකුරට පොත් ගෙනවිත් නැත්නම්...
      අඳින්නෙ කෝමද නැවුම් රටා සිත්තම්...
      දුප්පත් මොළමල් බියෙන් සළිත වේනම්... 
      නටන්නෙ කෝමද ගීත ගයා වන්නම්...

      මුරකුටි යායේ අඳුරට සිත දේ නම්...
      කැලේ තැලී මල් කලේට යාවේ නම්...
      කීව නහන මල් පිපෙන්න අකමැති නම්... 
      තනන්නෙ කෝමද ශිල්ප කලා කැටයම්... 

      ගායනය - නන්දා මාලනී
      ගී පද - සුනිල් සරුක්කාලි.
      සංගීතය - විජේසුන්දර වේරගොඩ.
      (ගාමණී )
      (https://www.youtube.com/watch?v=dCOs49HGx90)

      Delete
    4. අපේ පළාත්වල හපුටු පැටවුන්ටත් වඩා ඇත්තමයි ඒ මල් කැකුලු වල ජීවිත හරිම දුශ්කරයි ඉවාන්.ස්තූතියි ඔබට බොහොම.

      Delete
    5. වෙනද වගේම සිංදු ඇනෝ ඔබටත් ගොඩක්ම ස්තූතියි...

      Delete
  7. දුෂ්කර පළාතේ ගුරුතුමී...............

    සඳුදා පාන්දර
    නැඟෙනහිර අහස කැටපතක් වෙයි
    සිතිජයේ ජනේලයෙන් මතුවෙලා
    කඳු උඩින් එබී හිස පීරන්න
    අවුල් වරලස ලිහි හිරු කිරණ සේ දිලෙයි
    ඉක්මනින් පය තබා යා යුතු යි

    කඳුළු දෝතට අරන් මඩ ඇලෙන්
    සිනාවන් ඔප දමා බුරුසුවෙන්
    කටු අකුල් පාගමින් යා යුතුයි
    සුළඟවිත් පුයර දුහුවිලි පොදක් ගෙල උලයි
    ඈත ඉස්කෝලයේ කිචි බිචිය පැහැදිලියි

    මන්දාරමෙන් වැසි කඩදාසියත් කළුයි
    පාට පැන්සල් තුඩින්
    බැම සඟල දේදුන්න වී ඇදෙයි
    ගුරුතුමී
    වලාකුළු ඔසරියට හරි හැඩයි
    පතොක් ගාලට උඩින්
    දිරාපත් අතුපතර පැහැබරව සිනාසෙයි
    දවාලට අව්ව තරමක් සැරයි

    ටීචර් අපි
    සූරියකාන්ත වී පිපුණෙමු
    ඈත කොලනි ඉස්කෝලේ පාන්තියක
    ඉඩෝරය කවකටුවෙන් අනියි
    පොතේ කොල වේලිලා පරඬලා වගෙයි

    එපා මිස් අප නිසා දුක්වෙන්න
    ඔය කඳුළු බිංදුවෙන් හෙට උදේට වැව පිරුණම
    අපේ සිනා වාන්දාන හැටි බලන්න

    කුමාර හෙට්ටිආරච්චි
    (http://www.silumina.lk/punkalasa/20101212/_art.asp?fn=ar10121213)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අපේ ඇනෝ... මාත් මේක කියෙව්වා ධම්මික බංඩාරගේ ගීත විචාර පිස්සුවෙබ් වගේ හොයන කාලේ.

      Delete
    2. සිංදු ඇනෝ, ඔබ අපිට ඉතාම වටිනා ගී, නිසැඳැස් තිළිණ කරනවා. ඔබේ ගී වලින් මේ සටහන් තව තවත් අර්ථවත් වෙනවා. ඇත්තෙන්ම බොහොමත්ම ස්තූතියි..

      Delete
  8. පට්ට ඈ... ඇත්තටම ලස්සනයි... ඇත්තටම අපූරුයි...
    ලස්සන කවියක්

    ReplyDelete
    Replies
    1. මහේෂ්.. නිර්මාණය කෙතරම් ලස්සන වුනත් ඒ ඇතුල් කතාව කොච්චරනම් අවලස්සනයිද.

      Delete
  9. පොත්ත,ජාතකේ මොකක් වුනත් දරුවෝ දරුවෝමයි,එකේ වෙනසක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත. හැමෝම මෙහෙම හිතුවනම්..

      Delete