Friday, September 19, 2014

අත්වැරැද්ද..

" නැඟුණු සඳ බැස යන්නටත් කලියෙන්..
කොහේ සැඟවුණිදෝ.."






ඔබ මගේ කවුරුදැයි මට නොවැටහේ
මගේ කෙනෙකුන් කියා පමණක් මට දැනේ
නැඟුණු සඳ බැස යන්නටත් කලියෙන්
කොහේ සැඟවුණිදෝ..

සුදු වළාවන් පැහැ රුවින් ගත්
වැහි වළාකුළු ආත්මය ගෙන
මගේ ලෝකෙට පැමිණි වග මං
අනේ දැන සිටියනම්..
මගේ තුරුළෙන් මොහොතකටවත්
ඉවතලන්නෑ උඹව මං..

උඹත් සමඟම හිඳින්නැතිවම
උඹව කැටුවම එන්නෙ නැතිවම
මග දමාලා ඇවිත් මේ දුර
නිමා වූ පසු සියලු දේවල්..
අකාලේ පරවූ මගේ මල
රැගෙන දෝතින් මගේ දෑතට
සමාවන් මට මයෙ පුතේ යැයි
පවසන්නෙ කෙලෙසද මං..

                                         
                                                    -සුදු පුංචාගේ නික්ම යාම...




Wednesday, September 3, 2014

මල් සුවඳ...


"හේනට එන ගිරවුන්ගෙන් - අකුරු ඉගෙන ගෙන
අහසේ තරු ගණන් කරන - ගල්කැට ඇහිඳින"





මල් සුවඳ පිරී ඇති
මගෙ හපුටු පැටවු ළඟ
හැමදාම එක ලෙසම
සිල් සුවඳ හමනවා..

නොවුනාට පොත්ත රතු
දිලිහෙනා හිනා කැන්
වලින් හැම පාන්දර පාන්දර
මගේ හිත පිරෙනවා..

පුංචි පැන්සල් කොටෙන්
හීනියට හෙමිහෙමින්
ගැටගහන අකුරු පොඩි 
පිටු පුරා පිරෙනවා..

නමට මල් කැකුළු වන 
උඹල හැමටම වඩා 
මගෙ හිඟන පැටවුන්ව 
හැමදාම මට වටිනවා..




Tuesday, August 26, 2014

ලේ සුවඳ..


"මතු භවයෙදිත් එක මවු කුසේ ඉපදෙතැයි මා පතනවා.."




අඳුරු මුල්ලක සිරව
දෑත දෙපය කර
දංකුඩේ රහ බලා
මං කල් ගෙවනවා...

උඹලාගෙ හිනා හඬ
කන වැකෙන හැම විටම
මගේ හද තුටු සිතින් පිරෙනවා...

උඹේ හදවතෙ නැතත්
එදා වූ සොයුරු පෙම
අදත් මගෙ හදවතේ ගලනවා...

නමුත් තරහක් නැතේ
මගෙ හිච්චි නංගියේ
මතු භවයෙදිත් එක මවු කුසේ
ඉපදෙතැයි මා පතනවා..



Wednesday, August 20, 2014

ටීචර් අක්කා




"ඔබේ හදවත් මංතලාවේ..."





"නොහැකි වූ මුත් දිසාපාමොක්

වන්න මට ඒ තක්ෂිලාවේ...

නිල නොලත් ගුරුවරිය වෙමි මම

ඔබේ හදවත් මංතලාවේ...

කෙඳිරිගාමින් අකුරු කරනා

අයුරු පුත ඔබ පුංචි පිටුවේ...

දැක මගේ මැලවෙලා ගිය හද

පිබිදි පිබිදී යලි සිනාසේ..."


                                         -2014.05.17



Sunday, August 17, 2014

කුමරියේ දුන්හිඳ...



"දුන්හිඳ සෙවනේදී...  2014.05.18  පස්වරුවේ.."




නොපෙනෙන දුරක ඉඳන්
මා අසලට ඇවිදින්
හෙමි හෙමිහින් රඟමින් ගලන්නේ...
මා ගත  රිදේවිදැයි...
බයද
මගේ දුන්හිඳ  කුමාරියේ...

 මා නොදන්නෙමි... 
ඔබ මට පෙම් කරන්නෙදැයි
ඔබෙ සුසුම් පොදින්...
මා හද ඇති යටගියාව
ඔබට දැනෙන්නෙදැයි මා නොම දන්නේ...

 රඟමින් හෙමි හෙමිහිට...
ඔය ලෙසටම යන විට
මා වගෙ උන් හමුවේදැයි නෑ මං දන්නේ...
ඒ හමුවුනොතින්...
මඟ හැරයන්නට...
ඔබට හැකියි නේද
මගෙ දුන්හිඳ කුමාරියේ...



Thursday, August 14, 2014

ඇඳුරු මවුගේ මරණය..

"උඹේ ඇහින් කඳුලක් මං
වැටෙනා තුරු බලන් හිටියා.."




"සුදු කොඩි වැනෙනා හෙවනැලි
අතරින් මහ මැදියම් රෑ
උඹේ ඇහින් කඳුලක් මං
වැටෙනා තුරු බලන් හිටියා..

උඹේ කර මතින් සොහොනට
මං යනකොට මයේ පුතේ
වෙනදා මෙන් හිත අස්සෙන්
තනියම මං හඬා වැටුණා...

මෙවන් යකඩ ගැහැණියකගෙ
කුසේ උපන්නාට පුතේ
එදා වාගේම අදත්
උඹ පසුතැවුණා...

දාහකගේ නෙත් පාදන
උඹවන් පුතෙකුන් බිහිකල
මං ගැන හිත හිතා මෙමා
සැමට හොරෙන් හිනා උනා..."

Monday, August 11, 2014

ආදරය..

"දිවිය මොන තරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්දෝ"





"නුඹ හින්දා නෙතට උනන කඳුලු බර වැඩියි..
නුඹටත් එය හැඟෙනවාද?
නුඹ හින්දා නෙතට ඉනුව කඳුලු බර වැඩියි..
නුඹටත් එය දැනෙනවාද?
නොදන්නෙමි කෙලෙසක ජීවත් වෙන්නද මං..

නුඹ හිනැස්සුවාට වඩා..
ඇඬෙවුවා වැඩියි..
හද කැකෑරෙනා වේදනාව
නෙත් අග්ගිස්සට ඇවිත්..
නිදහස් වන්නට මා සිතින් යදී..
නමුදු මා ලොවට බයයි..

ඔබ සිතේ මගේ කඳුලුවලට
වටිනාකමක් තිබුනේනම්..
මෙවන් ලෙසකට මා රිදුම් නොදෙයි..
ඔබ ඔබේ ලෝකේ සක්විති වනු දැක..
මා ඔබේ ලෝකෙ සරනු පෙනෙයි..

පෙර පුරුදු ලෙසම දුක් වේදනාව..
හිත යට හංගගමී..
ඒ පුරුදු ලෙසම ඔබ වෙනුවෙන් මා..
ලොව හමුවේ සිනාසෙමී..
එලෙසක හෝ..
ඔබ හා රැඳෙන්නෙමී..."